Tuesday, December 5, 2017

"ජන කතා"

      
    ජනකතාව යනු කටවහරින්, ලිඛිතව හෝ රඟ දැක්මෙන් හෝ වෙනත් අයුරකින් සාම්ප්‍රදායිකව පැවත එන කතාවකි. උදාහරණ ලෙස පංචත්නත්‍රය හිතෝපදේශය, ජාතක කතා, අරාබි නිසොල්ලාසය හෝ සින්ඩරෙල්ලා ආදිය සඳහන් කළ හැකිය.සිංහල ජන කතා අතර අන්දරේගේ කතා ප්‍රධාන වේ.එවැනි ජන කතාවක් පහත දැක් වේ.
        * “මම පමණයි කුකුළා”
සිංහල රජෙකුට අන්දරේ නම් කවටයෙක් සිටියේය. සෑම තැනදීම සිනා උපදවන කවටකම් කරන්නට ඔහු දක්ෂයෙකි. දවසක් රජුගේ අදිකාරම්වරු මේ අන්දරේ පරදවන්නට රහසින් කථා කර ගත්තෝය.
“අපි අන්දරේ සමග ගඟට නාන්නට යමු... එක් එක්කෙනා කුකුළු බිත්තරයක් සඟවා ගෙන ගිය යුතුය. නාන විට, දිය යට ගොස් කුකුළු බිත්තරයක් ගෙනෙන්නට කතිකා කරගමු...“ මේ අදිකාරම්වරු රහසින් කරගත් කථාවය.
“නාන්නට යමු...“ යි කී කල, අන්දරේ ද “හොඳයි...“ කියා පිටත් විය. සියල්ලෝම ගොස් ස්නානය සඳහා ගඟට බැස්සෝය.
“දිය යට ගොස් කුකුළු බිත්තරයක්  ගෙනෙන්නට පුළුවන් කාට ද ?“ යි මහ අදිකාරම් තුමා විමසා සිටියේය. “මට පුළුවන්... මට පුළුවන්...“ කියා අදිකාරම්වරු සියල්ලෝම කීහ. ඔවුන්ගේ ප්‍රයෝගය අන්දරේ නොදැන “මටත් පුළුවනි...“ යි කීය.
සියල්ලෝම දිය යට ගොස් යලි උඩ මතු වූහ. අදිකාරම්වරු අත් දික් කොට කුකුළු බිත්තර පෙන්නුවෝය. එවිට අන්දරේට ඔවුන්ගේ කපටිකම තේරුණේය.
කුකුළෙකු අත්තටු ගසන්නා සේ, හේ අත් දෙක දියෙහි ගසා “කුක්කු කූ කූ... කවුරුත් කිකිළියෝ ! මම පමණයි කුකුළා...!!!“ යනුවෙන් කීය.
අදිකාරම්වරු මහත් ලැජ්ජාවට පත් විය.ඔවුහු ඒ බැව් නොහඟවා, මහත් සේ සිනාසුනෝය !
                         මෙවැනි ජන කතා රැසක් දැකිය හැකිය.මේවා ඉතාමත් රසවත් හා උපදේශාත්මක කතා ලෙස හැදින් විය හැකිය.සරල භාෂාවකින් මෙම ජන කතා කිම නිසා ලොකු කුඩා සියලු දෙනාට මනාව තේරුම් ගැනීමට හැකියාව ඇත.

No comments:

Post a Comment